Wednesday, October 23, 2013

Field Visit

                ක්ෂේත්‍ර චාරිකා (Field Visit)



හැඳින්වීම
                            ක්ෂේත්‍ර අධ්‍යයන, ක්ෂේත්‍ර චාරිකා යන අංශ දෙකම ක්ෂේත්‍ර වැඩ (Field Work)  යන පොදු මාතෘකාවයටතේ හැඳින්විය හැක. ස්වභාව ධර්මයා පිළිබඳවත්, ස්වභාවික පරිසරයේ සිදුවන විවිධ සංසිද්ධීන් පිළිබඳවත්, බාහිර ලෝකයේ පවතින තාක්ෂණය පිළිබඳවත් කරුණු හැදෑරීමට ක්ෂේත්‍ර චාරිකා ඉවහල් වේ. පන්ති කාමරය තුළම රැඳී ලබන ඉගෙනුම නිසා ඇතිවන ඒකාකාරී ස්වභාවය මඟහරවා ගැනීමටත් තමා ඉගෙන ගන්නා විෂය වඩා ක්‍රියාශීලී හා ජීවිය ස්වරූපයකින් ඉගෙනීමට මෙමඟින් හැකිවේ. ක්ෂේත්‍ර චාරිකා සඳහා, යාබද කැලෑවක්, වැව්, පොකුණු, මුහුදු වෙරළ, ගංමෝය, කෞතුකාගාරය, කර්මාන්තශාලා වැනි ස්ථානයක් කරා සිසුන් කැඳවාගෙන යා හැකිය. මෙවැනි ස්ථානවලදී ඉගෙනීමට සැලැස්වීමෙන් සිසුන්ගේ ඉගෙනීමට ඇති ආශාවද උනන්දුවද වැඩි දියුණු වේ. තමන්ගේ විෂයය සම්බන්ධ නොයෙකුත් ගැටළු අවස්ථා හඳුනා ගැනීමට ද ඔවුන්ට හැකිවේ. සෑම ක්ෂේත්‍ර චාරිකාවක්ම ඔවුන්ගේ මනසට විෂය කරුණු අනාවරණය කර ගැනීමේ චාරිකාවක් ද වේ.
නිරීක්ෂණය කරමින් කල්පිත ගොඩ නඟමින් ගැටළු විසඳීමෙන්, නිගමන ගනිමින් ඉගෙන ගන්නා නිසා සිසුන්ට ඉතා ප්‍රියජනක අවස්ථාවක් වේ. ඇසින් දැකීම පමණක් නොව ඉන්ද්‍රියන්ද භාවිතා කර ශබ්ද ඇසීම, ගඳ සුවඳ දැනීම, ස්පර්ශ කිරිම ආදියෙහිද සිසුන් නිරත වන නිසා ඉගෙනිම සංවේදී වනු ඇත. ක්ෂේත්‍ර චාරිකා මගින් ඉගෙනීමෙන් සිසුන්ගේ සාධන මට්ටම ඉහළ යන බවද විශ්වාස කරයි. ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව ඇතිකර ගැනීම සඳහා ඉතා හොඳ වාතාවරණයක් ක්ෂේත්‍ර වැඩවලදී සැපයේ. එසේම සිසුන්ට ක්‍රියාකාරකම් කිරීමටත්, ප්‍රශ්න ඇසීමටත්, සාකච්ඡා පැවැත්වීමටත් ඇති නිදහසද වැදගත්ය. ක්ෂේත්‍ර අධ්‍යයනයකින් සාර්ථක ප්‍රතිඵල ලැබීම බොහෝ දුරට රදා පවතින්නේ එය කලින් සැලසුම් කරන ආකාරය මතය. එනම් ඉතා හොඳ පූර්ව සැලැස්මක් අත්‍යාවශ්‍යය. සැලසුම් නොකළ ක්ෂේත්‍ර අධ්‍යයනයකින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යාම පමණක් නොව කාලය හා ශ්‍රමය අපතේ යාමක්ද සිදුවේ.

ක්ෂේත්‍ර වැඩ සැලසුම් කිරීම පියවර 3ක් යටතේ සිදුකළ යුතුවේ.
·         පන්ති කාමරයේ කරනු ලබන පෙර සූදානම
·         ක්ෂේත්‍රයේදී ක්‍රියාත්මක වීම.
·         ක්ෂේත්‍ර වැඩ අවසන් වූ පසු පන්ති කාමරයේදී හෝ ඉන් පිටතදී කරනු ලබන පසු කාර්යයන් වේ.

පෙර සූදානම (Pre Parathion)

සූදානම් වීමේ මූලික කටයුතු පළමුවෙන්ම සිතා බැලිය යුතුය. ඒ සඳහා සිසුන්
·         ක්ෂේත්‍රයට ගෙන යාමේ අරමුණ කුමක්ද?
·         ක්ෂේත්‍රයේදී ඔවුන් විසින් කළ යුතුදේ කවරේද?
·         ගත කිරීමට බලාපොරොත්තු වන කාලය කොපමණද?
                                                                                              වැනි ප්‍රශ්නවලට පිළිතුරු ලබාගත යුතුය. මේ පිළිබඳ සාකච්ඡා කිරීම යෝග්‍ය වේ. ක්ෂේත්‍ර චාරිකාව සඳහා යාමට සුදුසු ස්ථානයන් හෝ පරිසරයන් තෝරා ගැනීමද අත්‍යවශ්‍යය. එය ගුරුවරයට හුරුපුරුදු ස්ථානයක් වීම වඩාත් සුදුසුය. ගුරුවරයා නොදන්නා ස්ථානයක් නම්, වරක් හෝ දෙවරක් හෝ එහි ගොස් එය හුරුපුරුදු තැනක් කරගත යුතුයි. එවිට එහිදී අධ්‍යයන කරන්නට බලාපොරොත්තු වන අංශ පිළිබඳව වැටහීමකුත් ගත කිරීමට සිදුවන කාලය පිළිබඳ අවබෝධයකුත් ලබාගැනීමට පහසු වේ.
අධ්‍යයන කිරීමට යන ස්ථානවලට දැනුම් දීම හා අවසර ලබා ගැනීම අවශ්‍ය වේ නම් ඒවාද කළ යුතුය. සිසුන්ගේ දෙමාපියන්ට දැන්වීමත් අවසර ලබා ගැනීමත් ක්ෂේත්‍ර චාරිකාවට කළින් කළ යුතුය. එසේම සිසුන්ගේ හැසිරීම් පිළිබඳ උපදෙස් හා නීතිරීතිත්, කාල සටහන, ඇඳුම්, ආහාර පිළිබඳව ඔවුන්ට දැන්විය යුතුවේ.
මෙහිදී සාර්ථක භාවයට බලපාන තවත් සාධකයක් වනුයේ සිසුන්ගේ ඒ ගැන පවත්නා ආකල්ප වල ස්වභාවයයි. ඔවුන් තුළ සුදුසු ආකල්ප වර්ධනය කරවීම ගුරුවරයා සතු කාර්යයකි. සියලූ දෙනාටම වගකීම් හා වැඩ කොටස් ඛෙදී යනසේ වැඩ පැවරීම ඒ සඳහා කළ හැකිය. සිදුකිරීමට ඇති කාර්යයන් බොහෝ ඇති නිසා සිසුන් කාණ්ඩවලට ඛෙදීමත්, එම කාණ්ඩ වලට වැඩ පැවරීමත් සුදුසු වේ. දක්ෂ, අදක්ෂ පසුබිම සියලූම සිසුන් තම තමන්ට හැකි ප්‍රමාණයෙන් තම දක්ෂතා අනුව කටයුතු කිරීමෙහි නිරත කරවීමෙන් සිසුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය මේ නිසා ලබා ගත හැකි වේ. ක්ෂේත්‍රයට ගිය පසු, සෑම ශිෂ්‍යයකු විසින්ම කළයුතු කාර්යයන් ගැනත්, අධ්‍යයනයට සම්බන්ධ වන විෂය කරුණු පිළිබඳ පසුබිම් දැනුමත් ඔවුනට දීම අවශ්‍ය වන අතර ඒ සඳහා අවශ්‍ය උපදෙස් දීමටත්, මඟ පෙන්වීමටත්, මුද්‍රිත හෝ අතින් ලියන ලද හෝ උපදෙස් පත්‍රිකා කාර්ය පත්‍රිකා හා ආදිය සැපයීමත් සුදුසු වේ.

ක්‍රියාත්මක කිරීම  (Implementation)
මෙහිදී ගුරු කාර්යභාරය ඉතා වැදගත් වේ. ඒ ඒ කටයුතු සඳහා සිසුන් නිසිලෙස මෙහෙයවීමට ගුරුවරයා හට අත්දැකීම් තිබිය යුතුය. සිසුන් සමඟ සමීපව සිටිමින් ඔවුන් නිවැරදි මඟට යොමු කරවමින් ඔවුන්ට සහාය විය යුතුයි. ඔවුන්ට ආදර්ශමත් වෙමින් කරගෙන යන කාර්යයන් කෙතරම් ප්‍රියජනක හා ඵලදායීද යන්න වටහා දිය යුතුයි.
තෝරා ගත් ස්ථානය අනුව එහිදී සිදුකිරීමට ඇති කාර්යයන් වෙනස් වනු ඇත. නමුත් සෑම ස්ථානයකදීම වැඩ කටයුතු කෙරේ. සිසුන් යොමු කිරීමේ මාර්ගය බොහෝ විට එක සමාන වනු ඇත. කාණ්ඩ වශයෙන් එක්වී තම තමන්ට අදාල කටයුතු වල ස්වාධීනව නිරත වීමට ඉඩදිය යුතුය. බොහෝ විට පැළෑටි සතුන් වර්ග එකතු කරගෙන ඉවතට ගෙන යාමට සිසුන් පෙළඹෙනු ඇත. අත්‍යවශ්‍යම දෙයක් ඇත්නම් අවසර ඇතිව පිටත ගෙන යා යුතු බවත්, ඒවා ආරක්ෂා කිරීමට නිතරම උත්සාහ ගත යුතු බවත්, වැනි යහපත් ආකල්ප සිසුන් තුළ වර්ධනය කරවීම ඉතා වැදගත්ය. ගුරුවරයා අණ දෙන්නකු නොවී සෑම අවස්ථාවකදීම සිසුන්ට මඟ පෙන්වන්නෙකු හා සහායකයකු විය යුතුය. සිසුන් තුළ සහජයෙන්ම පවත්නා කුතුහලය හා ආශාව නිසාම කලින් අපේක්ෂිත නොවූ අනවශ්‍ය කටයුතු කිරීමටද සිසුන් පෙළඹීමට ඉඩ තිබේ. ක්ෂේත්‍ර වැඩවලදී එවැනි කටයුතු සඳහා අවස්ථාද බහුලව ලැබේ. එමනිසා අවශ්‍යම කටයුතු වලදී පමණක් නිරත වන අයුරින් ඔවුන්ගේ කාර්යයන් මෙහෙයවන නියමිත කාලය තුළදී කළයුතු දේ නිම කිරීමට උත්සාහ ගත යුතුය.

පසු කාර්යයන් (Follow up work)

ක්ෂේත්‍රයේදී සිදුකළ කාර්යයන් සම්පූර්ණ කර ගැනීම සඳහා ඒවා පන්ති කාමරය වෙත ගෙන යා හැකිය. එහිදී සොයා ගත් කරුණු අනුව රූප සටහන් චාර්ට්, පොස්ටර් ඇදීමටත් දත්ත වගු ගත කිරීමටත්, ප්‍රස්තාර නිර්මාණය කිරීමටත් සිදුවිය හැක. මෙවැනි කාර්යයන් නිරත වන තෙක් ක්ෂේත්‍ර වඩාත් සම්පූර්ණ නොවන අතර, කරන ලද කාර්යයේ නියම ප්‍රතිඵල ද නොලැබේ. සියලූ දෙනාම එක්රැස් වී තම කණ්ඩායම් ලබාගත් නිරීක්ෂණ සිදුකළ කාර්යයන් ලැබූ අත්දැකීම් මෙහිදී විස්තර කළ හැකිය. එමඟින් එකිනෙකා අතර අන්‍යොන්‍ය වශයෙන් අදහස් හුවමාරු කරගැනීමට මෙහිදී අවස්ථාව ලැබේ. ක්ෂේත්‍රයේ සිදුවූ සියලූම කටයුතු පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් සිසුන් සියල්ලම ලබාගත හැකි වේ.

තොරතුරු තාක්ෂණ දැනුම භාවිතය
මෙවැනි ක්ෂේත්‍ර අධ්‍යයනයේදී ආරම්භයේ සිට අවසානය දක්වාම අපහට වඩා ඵලදායී ආකාරයට සිදුකිරීම තොරතුරු තාක්ෂණික දැනුම භාවිතා කළ හැක.
අධ්‍යයනය සඳහා තෝරා ගන්නා ස්ථානය පිළිබඳව තොරතුරු ලබාගෙන (අන්තර්ජාලය මගින්) සිසුන් දැනුවත් කිරීම තුළින් ඔවුන් තුළ කුතුහලය මෙන්ම අවබෝධයක් ඇති කරමින් ප්‍රීතිමත්ව ගමනට සම්බන්ධ කළ හැකිවේ. අවශ්‍ය අවසර ලබා ගැනීම සඳහා ආයතනය සමඟ ඉතා ඉක්මනින් සම්බන්ධ වීමට විද්‍යුත් තැපෑල භාවිතා කළ හැක. එමඟින් ගත වන කාලය හා මුදල් ඉතිරි කරගත හැකිවේ.
අධ්‍යයනය අතර තුරදී මෙයට සම්බන්ධ නොහැකි වූවන් සමඟ තොරතුරු හුවමාරු කරගත හැක. මේ සඳහා chat කිරීම ^web කැමරා සහිතව) ආදී ක්‍රම භාවිතා කළ හැක. තවද අධ්‍යයනය අතරතුරදීම ලබාගත් තොරතුරු ඡායාරූප ආදිය සහභාගී නොවන්නන් සඳහා ලබාදිය හැක.
තවද වැඩසටහන (චාරිකාව) අවසානයේදී සම්පූර්ණ විස්තර ඇතුළත්ව සංයුක්ත තැටියක්  විධිමත්ව සකස් කිරීම තුළින පසු අවස්ථා වලදී ප්‍රයෝජනයට ගත හැකි වනු ඇත. මෙමගින් සිසුන් වැඩි පිරිසකට තමා කැමති අවස්ථාවකදී තවදුරටත් අධ්‍යයනය කටයුතු වල නිරත විය හැකි වේ. මෙවැනි අධ්‍යයනය ප්‍රතිඵල බහුමාධ්‍ය මෙවලම් භාවිතා කර සකස් කිරීම තුළින්, වචන මඟින් ඉදිරිපත් කළ නොහැකි දේ රූප සටහන් මඟින් හෝ චලන රූප මගින් හෝ වීඩියෝ පට මඟින් හෝ ඉදිරිපත් කිරීම තුළින් වඩාත් හොඳ ඉගෙනුමක් සිදුකර ගත හැකිය.